ප්‍රකට මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විභාගය තුන්වන දිනටත් අද (21) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී පැවැත්වුණා. මෙම සුවිශේෂී නඩු විභාගය පවත්වනු ලබන්නේ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා සිය නිල නිවාසය ලෙස භාවිත කළ, කොළඹ විජේරාම ප්‍රදේශයේ පිහිටි නිවසේ විශේෂයෙන් ස්ථාපිත කර ඇති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ සංකීර්ණයේදීය.
අද (21) දිනයේදී මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් පස් දෙනෙකුගෙන් (05) සාක්ෂි විමසීමට මීට පෙර නියමිතව තිබුණ ද, ඉන් සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි විමසා අවසන් කිරීමට අධිකරණය පියවර ගත්තේය. එහිදී ඉදිරිපත් වූ එක් සාක්ෂිකරුවකුගේ සාක්ෂි විමසීම අද දිනට මුළුමනින්ම අවසන් නොකළ අතර, ඔහුගේ සාක්ෂියේ ඉතිරි කොටස සහ කැඳවීමට නියමිතව සිටි අනෙක් සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම ඉදිරි නඩු දිනය දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.
මෙරට මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්වූ ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීමේ සිදුවීමට අදාළ නඩු විභාගය, පූර්ණ විනිවිධභාවයකින් සහ කඩිනමින් සිදුකිරීම සඳහා මෙම විශේෂ මහාධිකරණය මඟින් නිරන්තරයෙන් කටයුතු කරමින් පවතී.














