ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) සහ රුධිරගත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් අතිනවීන යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ. රුධිර ප්ලාස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු ලබන මෙම අතිනවීන වෛද්‍ය උපකරණ දෙක (Com. Tec MultiProcedural Machine), ප්‍රිමියම් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම මඟින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පසුගියදා නිල වශයෙන් භාර දෙන ලදී.
ජර්මනියේ නිෂ්පාදිත මෙම අතිනවීන යන්ත්‍ර මඟින් ප්ලාස්මා දේහ විච්ඡේදනය ප්‍රතිකාර ක්‍රමය හරහා මෙරට බහුලව වාර්තා වන රෝග තත්ත්වයන් රැසකට සාර්ථකව ප්‍රතිකාර කළ හැකිය. මී උණ, සර්ප දෂ්ටනයට ලක්වූ රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග පාලනය, අවයව බද්ධ කිරීමට පෙර සහ පසු රෝගී සත්කාර මෙන්ම රුධිර පිළිකා හා තැලසීමියා රෝගයෙන් පෙළෙන, සෛල බද්ධ කිරීමේ සැත්කම් අපේක්ෂාවෙන් පසුවන රෝගී දරුවන්ට සහ වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීමට මෙම උපකරණ සෘජුවම දායක වෙයි. මේ වන විටත් ජාතික රුධිර පාරවිලන සේවය හරහා මෙවැනි යන්ත්‍ර 19ක් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල සාර්ථකව ප්‍රතිකාර සේවා සඳහා එක්කර තිබේ.
ප්‍රිමියම් ඉන්ටර් නැෂනල් සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරි අචල මෝසස් යන මහත්වරුන් විසින් මෙම ප්‍රදානය සිදුකළ අතර, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සහ අඛණ්ඩ රෝගී සත්කාර වෙනුවෙන් උපරිම දායකත්වය දීම තම අරමුණ බව ඔවුහු පැවසූහ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරන පසුබිමක, රජයේ සේවාව තවත් ශක්තිමත් කිරීමට මෙවැනි පුද්ගලික අංශයේ දායකත්වයන් ඉතා අගය කරන බවයි.
















