‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන යටතේ ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සඳහා යොමු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්, දිවයින පුරා නව කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 06ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගනිමින්, දැනට නිසි ලෙස භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි 06ක් මේ සඳහා යොදා ගැනීමට හඳුනාගෙන ඇත.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, අදාළ මධ්‍යස්ථාන රජයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒවායේ කටයුතු සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට ද අවසර ලැබී තිබේ. මෙමගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කඩිනම් කිරීමට රජය අපේක්ෂා කරයි.













