විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඇතුළු සියලු අංශවල ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වළක්වා ඒවා ඉක්මනින් විනාශ කිරීමටත් වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටත් පියවර ගත යුතු බවයි. “රටම එකට” මෙහෙයුම ආරම්භ වූ 2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇති අතර එම කාලය තුළ ගංජා කිලෝ 5437ක්, හෙරොයින් කිලෝ 1936ක්, අයිස් කිලෝ 1991ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමෙන් පසු ඔවුන්ට රැකියා පුහුණුව සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ලබා දීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය. මීට අමතරව මත්ද්‍රව්‍ය නඩු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම වේගවත් කිරීම සහ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා කඩිනම් යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














