එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා හයිටි රාජ්‍යය බලා පිටත්ව යන ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයේදී, සාම සාධක මෙහෙයුම් සඳහා මෙවර ශ්‍රී ලංකාවෙන් වැඩිම භට පිරිසක් පිටත්ව යාම විශේෂත්වයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ ලෝකයේ ආර්ථික වශයෙන් පොහොසත්ම රට බවට පත්වීම අසීරු වුවද, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් සහ මානව හිමිකම් සුරකින අභිමානවත් රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ගෞරවනීය රාජ්‍යයක් බවට පත්විය හැකි බවයි. ස්වභාවික ව්‍යසන සහ ගෝලීය අභියෝග හමුවේ වුවද, නොසැලී ඉදිරියට යා හැකි ආර්ථිකයක් ගොඩනැගීමට මේ වන විට රජය සමත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
යුද සමයේදී සහ විපත්තිදායක අවස්ථාවලදී රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා හමුදාව, ඉදිරියේදීත් රටේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කරමින් විනයගරුකව තම රාජකාරි ඉටු කළ යුතු බව ඔහු සිහිපත් කළේය. හමුදාවේ කීර්තියට හානි කරමින් යම් කුඩා කණ්ඩායම් පුද්ගලික බල වුවමනා වෙනුවෙන් සිදු කර ඇති දේ පිළිබඳ විමර්ශනය කර සමාජයට හෙළිදරව් කරන බවද ඔහු පැවසීය.
හයිටි රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් සමනය කරමින්, එරට පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම සාධක භටයන් සිදු කරන්නේ ඉතා වටිනා ජාත්‍යන්තර මෙහෙවරක් බව ජනාධිපතිවරයා පැවසීය. සෑම විටම මවුබිමේ සහ දෙමාපියන්ගේ ගෞරවය ආරක්ෂා කරමින්, ජාතික කොඩිය දෙවුර මත දරාගෙන තම වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපතිවරයා පිටත්ව යන සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
















