අධිකරණය ලබාදෙන තීරණවලට රජයක් ලෙස තමන් යටත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අධිකරණ තීන්දුවලින් ඔබ්බට වෙනත් තීරණයක් තමන්ගෙන් බලාපොරොත්තු වීමෙන් පලක් නොමැති බවද ජනාධිපතිවරයා අද (18) බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් සඳහන් කළේය. නීතියේ අවසන් වගවිභාගය සිදුකරන්නේ අධිකරණය බවත්, නීතියේ ආධිපත්යය තහවුරු කිරීම සඳහා අධිකරණ තීන්දු පිළිගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙතෙක් තමන්ට එරෙහිව නීතිය ක්රියාත්මක නොවනු ඇතැයි සිතූ පිරිස් වෙතද මේ වන විට නීතිය ක්රියාත්මක වන බව පැවසීය. එමෙන්ම මත්ද්රව්ය සහ පාතාල ක්රියාකාරකම් මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව සඳහන් කළ ඔහු, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්රෑම් 2,484ක්, අයිස් කිලෝග්රෑම් 3,301ක් සහ කොකේන් කිලෝග්රෑම් 297ක් පොලිස් භාරයට ගෙන ඇති බව අනාවරණය කළේය. එම මෙහෙයුම්වලදී T-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර් 105ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර, අනාගත ශ්රම වෙළෙඳපොළට ගැළපෙන නිර්මාණශීලී දරුවන් බිහිකිරීම සඳහා පවතින අධ්යාපන ක්රමය වෙනස් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. පාසල් 6,000කට අධික සංඛ්යාවකට අධිවේගී ෆයිබර් තාක්ෂණික සබඳතා ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කළ ඔහු, පාසල් සඳහා තාක්ෂණික සහාය තවදුරටත් පුළුල් කරන බවද ප්රකාශ කළේය. තවද, මහජන දේපළ සොරකම් කිරීම සහ වංචා දූෂණවලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවත්, ජාතිවාදයට හා ආගම්වාදයට ඉඩ නොතබා ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව තහවුරු කරන රටක් ගොඩනගන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.














