ශාරීරික සීමාවන් බාධාවක් කර නොගෙන අධ්‍යාපනය හදාරන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආබාධ සහිත සිසුන් දිරිගැන්වීම උදෙසා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සෑම සිසුවෙකුටම රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබාදීමට කටයුතු යොදා ඇත. පළමු අදියර යටතේ සිසුන් 236 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණු අතර ඒ සඳහා රුපියල් මිලියන 23.6ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති මුළු සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වන අතර කොළඹට පැමිණීමේ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සිසුන් සඳහා අදාළ වැඩසටහන් අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම උත්සවයේ විශේෂත්වයක් ලෙස ප්‍රතිලාභී සිසුන් අසළටම ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීම සිදු විය.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි විය යුතු බවත්, ඔවුන් රටට බරක් නොව රටට වටිනා මානව සම්පතක් බවත්ය. සෑම විශ්වවිද්‍යාලයකම ආබාධ සහිත සිසුන් වෙනුවෙන් විශේෂ ඒකක ස්ථාපිත කිරීම සහ ඔවුන්ට බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීම රජයේ වගකීමක් බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
















