යුක්‍රේනය සතු බැලස්ටික් මිසයිල නාශක පද්ධති (Patriot systems) සඳහා අවශ්‍ය පතොරම් හා මිසයිල හිඟතාව උත්සන්න වී ඇති පසුබිමක, රුසියානු බැලස්ටික් මිසයිල, කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් යොදාගනිමින් යුක්‍රේනය පුරා දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. රුසියාව විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 6ක්, කෲස් මිසයිල 6ක් සහ ඩ්‍රෝන යානා 121ක් අතුරින් ඩ්‍රෝන 111ක් සහ කෲස් මිසයිල 2ක් සාර්ථකව විනාශ කිරීමට යුක්‍රේන ආරක්ෂක අංශ සමත් වුවද, ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයක් වේගයෙන් පැමිණෙන බැලස්ටික් මිසයිල මෙල්ල කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත.
මෙම ප්‍රහාර හේතුවෙන් ඔඩෙස්සා (Odesa) වරාය නගරයේ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර, අගනුවර වන කියෙව් (Kyiv) නගරයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. මීට අමතරව ඛාර්කිව් (Kharkiv) නගරයේ සිවිල් කර්මාන්ත ශාලාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇත. මේ අතර, මෙවර පැවැති නේටෝ (NATO) සමුළුවේදී එකඟ වූ ගුවන් ආරක්ෂක ආධාර පැකේජ කඩිනමින් ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය මිත්‍ර රටවලින් හදිසි ඉල්ලීමක් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















