ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය සහ නැව්වලින් බදු අය කිරීමේ මුල් කරගනිමින් ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම ඉතා දරුණු මට්ටමකට ලඟා වී තිබේ. පසුගියදා ඇති වූ වෙඩි තැබීම් හා ගුවන් ප්‍රහාර මාලාවෙන් පසු දෙරට අතර පැවැති සටන් නැවැත්වීමේ එකඟතාව (Ceasefire) අවසන් වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. එමෙන්ම, තමන්ව ඝාතනය කිරීමට ඉරානය කුමන්ත්‍රණය කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පවසන ට්‍රම්ප්, එවැනි උත්සාහයක් ගතහොත් ඉරානය ඉලක්ක කර මිසයිල 1000ක් එල්ල කිරීමට සූදානම් කර ඇති බවට දැඩි අනතුරු ඇඟවීමක් ද කර තිබේ.
මෙම දැඩි නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සහ මුහුදු මාර්ගයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (Abbas Araqchi) මහතා හදිසි සාකච්ඡා සඳහා ඕමානයට පැමිණ ඇත. ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද මෙම සාකච්ඡාවලට මැදිහත් වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු බදු අය කිරීමකින් තොරව, නැව් ගමනාගමනය සඳහා සම්පූර්ණ නිදහස ලබාදෙන බවට ඉරානය ප්‍රසිද්ධියේ පොරොන්දු විය යුතු බව ඇමෙරිකාව අවධාරණය කරයි. මෙම ගැටුම්කාරී වටපිටාව හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
















