මෙරට දරු පරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම එක්ව “හෙට දිනන ලොවකට අද සුවය සදමු” යන තේමාව යටතේ සුවිශේෂී සහයෝගීතාවක් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 18ට අඩු දරුවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී පවතින මූල්‍ය බාධාවන් අවම කිරීම මෙම ජාතික සත්කාරයේ ප්‍රධාන අරමුණයි.
මෙම නව ක්‍රමවේදය යටතේ ජනාධිපති අරමුදල මඟින් ප්‍රතිකාර සඳහා වැයවන මුදලින් කොටසක් ගෙවනු ලබන අතර, ජනශක්ති පදනම විසින් ඊට සමාන මුදලක් හෝ ඉතිරි වියදම යන දෙකෙන් අඩු අගය ගෙවීමට පියවර ගනී. මෙමඟින් පෞද්ගලික අංශය සහ රජය ඒකාබද්ධව දරුවෙකුගේ වෛද්‍ය වියදම් පියවා ගැනීමට පවතින මූල්‍යමය පරතරය අවම කිරීමට බලාපොරොත්තු වේ.
ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේ අරමුදලේ කටයුතු විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය හරහා එහි විනිවිදභාවය සහ සඵලතාව ඉහළ නංවා ඇති බවයි. ජනශක්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ රමේෂ් ශාෆ්ටර් මහතා පෙන්වා දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවතින දුෂ්කරතා දරුවන්ගේ අනාගතයට බාධාවක් නොවිය යුතු බවත්, මෙම සහයෝගීතාව හරහා එම බාධාව ඉවත් කිරීමට අපේක්ෂා කරන බවත්ය.
මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් 2026 මැයි මස 15 වැනි දින සිට ජනාධිපති අරමුදලට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. මූල්‍ය සහය අවශ්‍ය දරුවන් හඳුනා ගැනීම සහ මුදල් අනුමත කිරීම ජනාධිපති අරමුදල මඟින් සිදුකරන අතර, තොරතුරු ජනශක්ති පදනම වෙත ලබාදීම සඳහා අයදුම්කරුවන් අවසර ලබාදිය යුතුය. සාමාන්‍යයෙන් ප්‍රතිකාරවලින් පසු මුදල් ගෙවනු ලැබුවද, හදිසි සහ විදේශ ප්‍රතිකාර සඳහා ප්‍රතිකාරයට පෙර මුදල් ගෙවීමට ද ප්‍රතිපාදන සලසා ඇත.














