දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට සිදුවූ හානි සහ මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ආපදාවෙන් හානියට පත් මාර්ග, පාලම් සහ අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීම සහ ආපදාවෙන් හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට මෙහිදී එකඟතාව පළ විය. ඒ සඳහා කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිග්‍ය කපිල ජයසේකර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් එක්ව සිටියහ. තවද, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
















