උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල පෞද්ගලික ඉන්ධන සමාගම් ඩීසල් බෙදාහැරීම දැඩි ලෙස සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් ගොවි සහ ධීවර ජනතාව ඇතුළු ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
LIOC, Sinopec සහ RM Parks සමාගම් හරහා ඉන්ධන නිකුත් කිරීම සියයට 50කින් පමණ පහත වැටී ඇති අතර, පිරවුම්හල් 500කට අධික සංඛ්‍යාවක ඩීසල් බෙදාහැරීම සීමා කර තිබෙනවා. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවිය හැකි බවට බෙදුම්කරුවන් අනතුරු අඟවනවා.
ගොඩබෑමේ පිරිවැයට සාපේක්ෂව ඉන්ධන මිල සංශෝධනය කරන ලෙස සමාගම් රජයෙන් ඉල්ලා සති දෙකකට වැඩි කාලයක් ගතව ඇතත්, මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, සාකච්ඡාවක් සඳහා බලශක්ති අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමටද පිළිතුරක් ලැබී නැති බවත් සංගමය සඳහන් කරනවා.
















