27 April 2024
#දේශීය

කර්මාන්ත අංශ 19කට ගැටළුවලට කඩිනමින් විසඳුම් දෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල් 

කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අංශ 19ක උපදේශක කමිටු සභාපතිවරු හා අදාළ කර්මාන්ත අංශ නියෝජනය කරමින් පැමිණි කර්මාන්තකරුවන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දීය.

කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා බාධාවක්ව පැවති ආනයන සීමා විශාල ප්‍රමාණයක් පසුගිය ජූනි 11 වැනිදා ගැසට් නිවේදනය මගින් ලිහිල් කර ඇති බවත් තවදුරටත් ආනයන සීමා පවතින, කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය, අමුද්‍රව්‍ය පිළිබඳ සමාලෝචනයක් සිදුකර ඒවා ගෙන්වීමට අනුමැතිය ලබාදීමට මහ බැංකුව එකඟ වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, අතිරේක ලේකම් එස්. එල්. නසීර් යන මහත්වරු ද අගය එකතු කළ තේ නිෂ්පාදන අංශය, සැකසූ ආහාර නිෂ්පාදන අංශය, කොහු ආශ්‍රිත නිෂ්පාදන අංශය, කුළුබඩු අංශය, ඇසුරුම් ද්‍රව්‍ය කර්මාන්ත අංශය, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශය, ප්ලාස්ටික් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන අංශය, මෝටර් රථ එකලස් කිරීමේ අංශය, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ අංශය, බෝට්ටු සෑදීමේ සහ එයට අනුබද්ධ කර්මාන්ත අංශය, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන අංශය, සෙරමික්, පෝසිලේන්, ටයිල් හා ග්‍රැනයිට් නිෂ්පාදන අංශය, තීන්ත හා තීන්ත ආශ්‍රිත නිෂ්පාදන අංශය, විදුලි හා විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදන අංශය, රූපලාවන්‍ය නිෂ්පාදන අංශය, ඖෂධ නිෂ්පාදන අංශය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අංශය, සම් නිෂ්පාදන අංශය, ලෝහ ආශ්‍රිත නිෂ්පාදන අංශය යන කර්මාන්ත අංශ 19 හි උපදේශක කමිටු සභාපතිවරු හා ඒවා නියෝජනය කරන කර්මාන්තකරුවෝ ද සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *