27 April 2024
#දේශීය

ජනපතිට එරෙහි උද්ඝෝෂණ තවත් තීව්‍ර කල යුතුයි – අනුර දිසානායක

ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි උද්ඝෝෂණ තවත් තීව්‍ර කළ යුතුව තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවේදී එක්වෙමිනි.

එහිදී දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” ඒවා කිසිසේත් නතර කළ යුතු නැහැ. තනි පුද්ගලයෙකුගේ උද්ධච්ඡභාවය වෙනුවෙන් රටක් හා ජනතාවක් අනතුරේ හෙළිය යුතු නැහැ. කෝටි දෙකක ජනතාව ප්‍රශ්නයක සිටියෙදී ජනාධිපතිවරයා කල්පනා කරන්නේ තමන්ගේ බලය ගැනයි. කෝටි දෙකක ජනතාවගේ ඉල්ලීම් පසෙක ලා තිබෙනවා. මේ ජනතාව තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගත නොහැකිව සිටියෙදී, රාජ්‍ය ආයතන, කර්මාන්ත සියල්ල කඩා වැටී තිබියෙදී, පාසල් හදිසියේ වසා දමා තිබියෙදී, ගොවි ජනතාව පොහොර නැතිව සිටියෙදී තනි පුද්ගලයෙක් මේ සියල්ල මෙසේ විනාශ වී යාමට ඉඩහැර තිබෙනවා. ඒ නිසා මේ තනි පුද්ගලයා පලවා හරින්න ජනතාවට සාධාරණ අයිතියක් තිබෙනවා. ඔහුට තම තනතුර අත්හැරීමට බලකරන තත්වයක් ඇති කරන්නට මේ උද්ඝෝෂණ මාලාව තීව්‍ර කළ යුතුයි. ජාතික ජන බලවේගය ලෙස පොදු ජනතාව ගෙනයන මේ උද්ඝෝෂණවලට උපරිම සහය සහ මැදිහත්වීම ලබා දෙනවා. ඒ අතර ජාතික ජන බලවේගය ලෙසත් අප උද්ඝෝෂණ මාලාවක් සූදානම් කර තිබෙනවා. මේ පාරට බැස තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික ජන බලවේගයේ සාමාජිකයන් පමණක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ හෝ සමගි ජන බලවේගයේ සාමාජිකයින් පමණක් නෙමෙයි. මේ පාරට බැස සිටින අය අතර විශාල ප්‍රමාණයක් මේ පාලනය ගොඩනැගීමට හවුල් වූ, ඒ වෙනුවෙන් වෙහෙස වූ හා ඡන්දය ප්‍රකාශ කළ අයයි. රටත් ජනතාවත් විනාශයට ගමන් කරමින් තිබියෙදී මේ කිසිදු ජනතා හඬකට ඇහුම්කන් නොදී පාලකයා හිතුවක්කාරී තක්කඩි හා මුග්ධ ලෙස හැසිරෙනවානම් පොදු ජනතාවගේ යුක්තිසහගත අයිතිය වන්නේ තව තවත් උද්ඝෝෂණ තීව්‍ර කිරීමයි. මෙවැනි තක්කඩි හිතුවක්කාරී පාලකයෙක් කවදාවත් අපේ රට ගොඩ නොනගන බව දැන් ඉතාමත් පැහැදිලියි.යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *