පකිස්ථාන් සුපර් ලීග් (PSL) තරගාවලියේ පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් මේ වන විට ලකුණු 500 සීමාවට අසන්න වෙමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටී.
ඊයේ (අප්‍රේල් 22) කරාච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. ඒ සමඟ ඔහුගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 493ක් දක්වා ඉහළ ගිය අතර, ලකුණු 500 සීමාවට ලකුණු 7ක් පමණක් අඩුවෙන් තිබියදී කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට ඔවුන් සමත් විය.
මේ වන විට තරග 8කදී ශතකයක් (109) සහ අර්ධ ශතක 4ක් රැස් කර ඇති කුසල්, 172.37ක ප්‍රහාරාත්මක වේගයක් සහ 70.42ක ඉහළ ලකුණු සාමාන්‍යයක් පවත්වාගෙන යයි. ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන බාබර් අසාම් ලකුණු 426ක් රැස් කරගෙන සිටින අතර, කුසල් ඔහුට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් සිටී. කුසල්ගේ මෙම දක්ෂතාවය හේතුවෙන් පෙෂාවර් සල්මි කණ්ඩායම තරග 9න් 8ක්ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.














