2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි පිරිවැය ඇස්තමේන්තුව නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ගාස්තු සංශෝධනය තීරණය වනු ඇත.
විදුලි උත්පාදනය සඳහා වැයවන ඉන්ධන මිල ඉහළ යාම මෙම ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීමට ප්‍රධානතම හේතුව වී තිබේ. කෙසේ වෙතත්, බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් සිදුවන පාඩුව විදුලි ගාස්තුවට එකතු කර ජනතාව මත පැටවීමට ඉඩ නොදෙන බව කොමිෂන් සභාව අවධාරණය කර ඇත. මීට පෙර අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වූ සංශෝධනයේදී ද 8% ත් 14.4% ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර, අද දින ප්‍රකාශයට පත් කරන නව සංශෝධනය මගින් පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට එල්ල වන බලපෑම පිළිබඳව දැඩි අවධානයක් යොමුව පවතියි.














