ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණය කිරීම සඳහා රුසියාවේ තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව ලබාගැනීම අරමුණු කරගත් විශේෂ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා තිබේ. මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබීම සිදුව ඇත්තේ රුසියාවේ කසාන් (Kazan) නගරයේ පැවති XVII ජාත්‍යන්තර ආර්ථික සංසදයට (International Economic Forum) සමගාමීවය.
එම ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගී වී සිටියේය.
දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය, නවීන තාක්ෂණික දායකත්වය සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින්, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර මෙම අවබෝධතා ගිවිසුමට එළැඹිණි.
මෙම නිල අත්සන් තැබීමේ අවස්ථාවට රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් සහ නියෝජ්‍ය අමාත්‍ය ඩිමිත්‍රි ස්වෙරෙව් (Dmitry Zverev) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මේ හරහා මෙරට දුම්රිය ධාවන පථ, සංඥා පද්ධති සහ මැදිරි නවීකරණය සඳහා රුසියානු තාක්ෂණය ඉදිරියේදී හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















