රාගම (උතුරු කොළඹ) ශික්ෂණ රෝහලේ කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී රෝහලේ පවතින ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබා දී තිබේ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව රාගම රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත. 2026 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව ඖෂධ ප්‍රසම්පාදනය, නව වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය වැනි කරුණු මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල නැවත සැලසුම් කිරීම, මලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ ප්‍රධාන සංවර්ධන සැලැස්ම සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තේය. සාකච්ඡාවෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගාරය සහ වාට්ටු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා ඇතුළු පිරිස, කාර්ය මණ්ඩල නවාතැන් සහිත ගිලන් රථ උද්‍යානයක් සහ වෛද්‍ය නීති ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද තීරණය කර තිබේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ රාගම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














