දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිත වුවද, තම ගැටලු සඳහා නිසි විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තීය සමිති අනතුරු ඇඟ තිබේ. මෙම වර්ජනය හේතුවෙන් දැනටමත් රුපියල් මිලියන 60 ඉක්මවූ පාඩුවක් සිදුවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘත්තීය සමිති පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රට පුරා දුම්රිය සේවාවන්ට බාධා එල්ල වුවද තම ඉල්ලීම් සඳහා තවදුරටත් සතුටුදායක විසඳුමක් ලැබී නොමැති බවයි. වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 40 කට අධික සෘජු පාඩුවක් සිදුවී ඇති අතර, සමස්ත පාඩුව රුපියල් මිලියන 60 ඉක්මවා ඇති බව ඔවුන් ඇස්තමේන්තු කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය දියත් කෙරුණු අතර, තම අරමුණ දුම්රිය සේවය අඩාල කිරීම නොව එය ආරක්ෂා කර ශක්තිමත් කිරීම බවද වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළහ.














