ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට පවතින්නේ ඉතාමත් අවදානම් සහගත තත්ත්වයක බවත්, ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට රට තුළ දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, රජය විසින් ඩොලරයේ අගය පාලනය කිරීමට ගෙන ඇත්තේ හුදු පැලැස්තර විසඳුම් පමණක් බවයි. විදේශ සංචිත වෙළෙඳපොළට මුදාහරිමින් සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් කඩිනමින් ගෙන්වා ගනිමින් ඩොලරයේ අගය කෘතිමව පහත හෙළීමට රජය උත්සාහ කළ ද, ජූලි මාසය වන විට ඩොලරයේ අගය නැවතත් ඉහළ යා හැකි බව ඔහු අනාවැකි පළ කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට රජය පොරොන්දු වී ඇති බවත්, ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රුපියල තවදුරටත් කඩා වැටී ජීවන වියදම අධික ලෙස ඉහළ යනු ඇති බවත් හෙතෙම පවසයි. පවතින දේශපාලන තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම යනු එම සභා විපක්ෂයට ලබා දීමක් වැනි ක්‍රියාවක් බැවින්, රජය මැතිවරණ පැවැත්වීම මගහැරීමට කටයුතු කරන බවද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
















