තම වෘත්තීය ජීවිතයේ ප්‍රධාන අවධානය නීතිය වෙනුවට ගණකාධිකරණය වෙත යොමු වූවා නම් සිය වෘත්තීය ගමන කෙතරම් වෙනස් වන්නට තිබුණේදැයි ඇතැම් විට සිතෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ හා ගණකාධිකාරී රජීව් අමරසූරිය මහතා පවසනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ නීතිය සහ ගණකාධිකරණය යන වෘත්තීන් දෙකම තම ජීවිතයේ සැමවිටම වැදගත් ස්ථානයක් ගෙන ඇති බවයි.
තම වෘත්තීය ජීවිතය ප්‍රධාන වශයෙන් නීති වෘත්තිය වෙත යොමු වී තිබුණද, ගණකාධිකරණයෙන් ලැබූ පදනම නීතිය, මූල්‍යය, නියාමනය සහ යහපාලනය එකිනෙක හමුවන අවස්ථාවලදී සිය කාර්යයන් වෙත ප්‍රවේශ වීමට අඛණ්ඩව බලපා ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) මේ වන විට එම වෘත්තීන් සහ සමාජයට ඒවා ලබාදෙන දායකත්වය වේගයෙන් පරිවර්තනය කරමින් පවතින බවද රජීව් අමරසූරිය මහතා අවධාරණය කර තිබෙනවා.
FUSION 2026 නමින් පැවැත්වෙන 47 වන ජාතික වරලත් ගණකාධිකාරී සමුළුවේ “Future Focus” සංවාදයට එක්වීමට ලැබීම පිළිබඳව තමන් විශේෂයෙන් සතුටු වන බවත්, මූල්‍ය ක්ෂේත්රයේ අනාගතය පිළිබඳ සංවාදයට නීතිමය දෘෂ්ටිකෝණයක් එක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
















