උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සෞඛ්‍ය සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා කඩිනම් පියවර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ, රෝහලේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා සිදු කළ විශේෂ නිරීක්ෂණයකදීයි.
අඩු පහසුකම් යටතේ වුවද මුලතිව් දිස්ත්‍රික්කයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය සේවා සපයන රෝහලේ කාර්ය මණ්ඩලය පිළිබඳව අමාත්‍යවරයා ප්‍රසාදය පළ කර තිබෙනවා. එම සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සොයා බැලුණා.
රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවේදී රෝහලේ කළමනාකාරීත්වය විසින් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවේ වත්මන් ව්‍යුහය, සෞඛ්‍ය දත්ත සහ සේවා සැපයීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාලීම, ගිලන් රථ සේවා ශක්තිමත් කිරීම, රෝග පරීක්ෂණ සහ වකුගඩු රෝගී ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.
එමෙන්ම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, රෝහලේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. රෝගී අවශ්‍යතාවලට අනුව හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය සංවර්ධනය කිරීමත්, ETU සහ ICU පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමත් ඒ අතරට අයත්.
දිස්ත්‍රික්කයේ ජනතාවට බාධාවකින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා පවතින වෛද්‍ය හා කාර්ය මණ්ඩල හිඟය සහ යටිතල පහසුකම් ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
මෙම අවස්ථාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩී. පතිරණ, මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උමාශංකර්, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියා.
















