ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලබන මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ‘The Sunday Times’ පුවත්පත වාර්තා කරයි. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනමින් සහ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්නාත් සිං මහතා මෙරට සිදුකරන පළමු සංචාරය මෙය වන අතර, එහිදී ඔහු ආරක්ෂක විෂය භාර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
















