මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ රංග නිෂාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු පසුගියදා සිදු විය. ඔහු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන් වීමට පෙර ඔහු දිවියෙන් සමුගැනීම පිළිබඳව අවමංගල්‍ය සභාවේදී විවිධ අදහස් පළ විය.
රංග නිෂාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (02) පස්වරුවේ කුලියාපිටිය, පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. එහිදී ගුණකථනයක් සිදු කළ ජලසම්පාදන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් මහින්ද මාපා මහතා සඳහන් කළේ, රංග නිෂාන්ත මහතා අවංක රාජ්‍ය නිලධාරියෙකු බැවින් පරීක්ෂණවලින් ඔහු නිදහස් වන බව තමන් විශ්වාස කරන බවයි. “රංග ඔබ ඉක්මන් වුණා වැඩියි” යනුවෙන් පවසමින් ඔහු සිය කණගාටුව පළ කළේය.
මියයන විට රංග මහතා දෙදරු පියෙකු වූ අතර ඔහුගේ බිරිඳ උඩුබද්දාව කොට්ඨාසයේ පාසලක ගුරුවරියක ලෙස සේවය කරයි. ඔහු 2013 වසරේදී මහා භාණ්ඩාගාරයේ සේවයට එක්ව ඇති අතර 2020 වසරේදී සහකාර අධ්‍යක්ෂ ධුරයට පත්ව තිබේ. ඔහු ඉතා සිල්වත්, ගුණවත් මෙන්ම කිසිවෙකුටත් කරදරයක් නොවන අයුරින් ජීවත් වූ අයෙකු බව ආගමික වතාවත් සිදු කළ වීරඹුවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
මෙම මරණය රටේ ආන්දෝලනාත්මක සිදුවීමකට සම්බන්ධ රාජ්‍ය නිලධාරියෙකුගේ මරණයක් බැවින් ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර පැතිර ගියද, ඔහු සිය පවුලේ යුතුකම් නිසි පරිදි ඉටුකළ දයාබර පියෙකු සහ සැමියෙකු බව ප්‍රදේශවාසීහු පවසති. අවසන් කටයුතු සඳහා මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.














