27 April 2024
#දේශීය

ණයට ආහාර, තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න – රනිල් ආණ්ඩුවට දැනුම් දෙයි

ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්නැයි තමා ආණ්ඩුවට දැනුම් දෙන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා විශේෂ ප්‍රකාශයක් නික්තු කරමින් කියා සිටියේ ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙන බවයි.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්,රැකියා නැතිවන බවත්,මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්,ගොවින් අතරමන් වී ඇති බවත්,මේවාට විසඳුම් අවශ්‍ය බව හෙතෙම පැවසිය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කල විශේෂ ප්‍රකාශය මෙසේය “දැන් තවත් ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න අපිට සිදුවෙලා තියෙනවා. ඒක තමා මේ රටේ ඇති වෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම සිංහල අවුරුදු කාලේ වෙනකොට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. බොහෝ ප්‍රදේශවලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60%ක ප්‍රමාණයක් කියලා. මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් අපිට මුහුණදෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙම නම් මේක වළක්වා ගන්න උවමනායි රට දියුණු කරන්නම්. දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුළුවෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. මේ ආහාර ලබාගන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩ ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නෑ. නමුත් තාවකාලික සහනයක් ගන්න හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *