ජේ.ආර්. ජයවර්ධන ආරම්භ කළ වසර 17ක දේශපාලන හා ආර්ථික පරිවර්තනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජන ජීවිතය වෙනස් කළ බව හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ජේ.ආර්. ජයවර්ධනගේ 120 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 17 දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති විද්වත් කතිකාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එම කාලසීමාවේ පාසල් සිසුන් සංඛ්‍යාව මිලියන 2.5 සිට මිලියන 4.1 දක්වා ඉහළ ගිය බවත් විදුලි පහසුකම් ලැබූ නිවාස හා කර්මාන්ත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගිය බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. නිවාසවල ස්ථිර වහල සහ බිත්ති සහිත තත්ත්වයද සැලකිය යුතු ලෙස වැඩි වූ බව ඔහු සඳහන් කළේය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා ස්වෛරීභාවය සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධ විධිවිධාන පිළිබඳවද අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි එම කාලයේ සිදු කළ කාර්යභාරයද සිහිපත් කළේය.














