එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ නෝර්වේ රාජ්‍යය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහනක් යටතේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ‘Dr. Fridtjof Nansen’ පර්යේෂණ නෞකාව සිය මෙහෙයුම් නිමා කරමින් කොළඹ වරායෙන් පිටත්ව ගොස් තිබේ. සති කිහිපයක් පුරා මෙරට සාගර කලාපයේ මත්ස්‍ය සම්පත, සාගර පරිසර පද්ධති සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ දත්ත රැස් කළ මෙම නෞකාව හරහා ශ්‍රී ලංකාවේ සාගර සම්පත් වඩාත් නිවැරදිව කළමනාකරණය කිරීමට අවශ්‍ය තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ මෙම විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව ධීවර කර්මාන්තයේ නිරත පිරිස්වල ජීවනෝපාය ආරක්ෂා කරමින් තිරසාර තීරණ ගැනීමට රජයට හැකි වන බවයි. එක්සත් ජාතීන්ගේ ධජය යටතේ යාත්‍රා කරන ලොව එකම පර්යේෂණ නෞකාව වන මෙහි අතිනවීන තාක්ෂණය භාවිතයෙන් දත්ත රැස් කෙරුණු අතර, එම කාලය තුළ මෙරට පර්යේෂකයන්ට ද ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට පියවර ගෙන තිබුණි.














