27 April 2024
#දේශීය

සහල් ගැසට් පත්‍රය අවලංගු කෙරේ …. ඩඩ්ලිලා කිව්ව ගණන් සාධාරණ නෑ – රාජ්‍ය ඇමැති ලසන්ත

සහල් පිළිබඳව පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබෙන ගැසට් පත්‍රය අවලංගු කිරීමට ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ලද විගස බොහෝ විට හෙට පමණ වන විට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කරනු ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබුවේ පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතිව නමුත් යම් පාර්ශ්වයක් එම නිදහස් කිරීම් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන සහල් මිල අසාධාරණ ලෙස වැඩිකිරීමට උත්සාහ දරන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය සහ පාරිභෝගික අධිකාරිය අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව සහල් හිමියන්ගේ සංගමය විසින් අද දින ප්‍රකාශ කර තිබෙන සහල් මිළ ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව අද (28) දින අමාත්‍යාංශයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ කටයුතු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වෙළෙඳ අමාත්‍යාංශය විසින් අද දින ආරම්භ කර තිබෙන බවත්, කඩිනමින් එම සහල් ආනයනය කර පාරිභෝගික ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙළෙඳ අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසන ලදි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *