හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ පැවති සමනල උද්‍යානය නවීකරණය කර, එළඹෙන ජුනි 3 වැනිදා සිට යළි මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කලක සිට නඩත්තු නොවීම හේතුවෙන් අක්‍රීයව පැවති මෙම උද්‍යානය, මෙවර පරිසර දිනය නිමිත්තෙන් මෙලෙස අලුත් කර ඇත.ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කරුණු කිහිපයක් අනාවරණය කළේය.සමනලුන් සඳහා විශේෂිත පැළෑටි වර්ග රෝපණය කිරීමෙන් උද්‍යානය අලංකාරවත් කර ඇති බවත්, එම ප්‍රදේශය ආශ්‍රිතව දැනටමත් සමනලුන් වර්ග 60ක් පමණ වාර්තා වී ඇති බවත් ඔහු පැවසීය. මෙරට තුළ සමනලුන් වර්ග 248ක් වාර්තා වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට අවේණික වර්ග 31ක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය මාසයේ විවෘත කළ ‘නිදහස් පක්ෂි අරණ’ පිළිබඳව ද සිහිපත් කළේය. එහිදී දේශීය සහ විදේශීය පක්ෂීන් කූඩුවලින් තොරව නිදහස් පරිසරයක ජීවත් වන අයුරු නැරඹීමට අවස්ථාව සැලසී තිබේ.මෙම සමනල උද්‍යානය සහ නිදහස් පක්ෂි අරණ අතර මුළු කලාපයම පරිසර හිතකාමී කලාපයක් ලෙස හඳුන්වා දීම මෙවර පරිසර දින වැඩසටහනේ විශේෂ අරමුණ බව ද වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.














