පසුගිය දින කිහිපයේ දිවයින පුරා පැවති වැසි තත්ත්වයේ ක්‍රමික අඩුවීමක් සමඟ ගංගාවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් මේ වන විට දිවයිනේ කිසිදු ගංගාවක ගංවතුර තත්ත්වයක් වාර්තා නොවන බවයි. දිවයින පුරා පවතින ජලාශවල ජල මට්ටම් ද සාමාන්‍ය මට්ටමකට පැමිණ තිබේ.
වත්මන් කාලගුණික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, තෙත් කලාපයේ පමණක් සුළු වර්ෂාපතන තත්ත්වයක් පවතින බවත්, සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බවත්ය. ඉදිරි දින කිහිපයේදී ද සාමාන්‍ය ලෙස අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, ගංවතුර වැනි ආපදා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවද අධ්‍යක්ෂවරයා සහතික කරයි.
කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉදිරි කාලගුණික විපර්යාසයන් සහ ජල මට්ටම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවද වැඩිදුරටත් සඳහන් වේ.
















