රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා එහි තිබූ රන් පවුම් විස්සක් සහ රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසයි. පසුගිය 01 වැනිදා රාත්‍රියේ බැංකුවේ දොරවල් කඩා ඇතුළු වී ඇති සොරුන් ස්වයංක්‍රීය කැපුම් යන්ත්‍ර (Grinders) යොදාගෙන සේප්පුව කපා මෙම සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. මහජනතාව උකසට තැබූ රන් භාණ්ඩ සහ බැංකුවේ තැන්පත් කර තිබූ මුදල් මෙලෙස සොරාගෙන ඇති බව වාර්තා වේ.
මෙම බැංකු ශාඛාව සඳහා ආරක්ෂක මුරකරුවෙකු යොදවා නොතිබීම සහ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය සොරකම සිදුවූ දින කිහිපයේ අක්‍රියව තිබීම පිළිබඳව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මූල්‍ය ආයතනවල ආරක්ෂාව තර කරන ලෙස ප්‍රාදේශීය ආරක්ෂක කමිටු රැස්වීම්වලදී බැංකු බලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබියදීත් මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් පැවතීම පිළිබඳව පොලිසිය සිය කණගාටුව පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.














