කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට දැනුම් දී තිබේ. ඒ අනුව ඇය අද (17) කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.
විමර්ශනයට ලක්වන ප්‍රධාන කරුණු අතර 2022 ආර්ථික අර්බුද සමයේ කොළඹ අඩු ආදායම්ලාභීන්ට සතොස හරහා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දුන් වවුචර් පද්ධතියේ සිදුවූ බව කියන වංචාව සහ නාගරික මන්ත්‍රීවරුන් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් වෙන් කිරීමේදී සිදුවූ අක්‍රමිකතා ප්‍රධාන වේ. මීට අමතරව 2010 සිට 2025 දක්වා කාලය තුළ නීත්‍යනුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම්, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම, නිශ්චල හා චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුවූ අක්‍රමිකතා සහ නඩු කටයුතු සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතා පිළිබඳවද මෙහිදී කරුණු විමසනු ඇත.
2025 දෙසැම්බර් 30 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරන ලදී. මුලින් ජූනි මස අවසන් වීමට නියමිතව තිබූ මෙම කොමිෂන් සභාවේ කාලසීමාව මේ වසරේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. කොළඹ 03, ගාලු පාරේ පිහිටි කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින බව හිටපු නගරාධිපතිනිය දැනුම් දී ඇත.
















