ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතිශය වැදගත් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් දෙකක් වන වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) සහ භෞතචිකිත්සක තනතුරු සඳහා උපාධිධාරීන් 101 දෙනෙකු බඳවා ගැනීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වෘත්තීන් දෙක සඳහා උපාධිධාරීන් පුහුණුවට බඳවා ගනු ලබන්නේ වසර 05ක කාලයකට පසුව වීම විශේෂත්වයකි.
මෙම පුහුණුව මාස 06ක අනුස්ථාපන හා සමායෝජන වැඩසටහනකින් සමන්විත වේ. ඒ තුළ රෝහල් පද්ධතියේ නවීන සායනික ක්‍රමවේද, රසායනාගාර තාක්ෂණය, රෝගී ආරක්ෂාව, වෘත්තීය ආචාරධර්ම සහ බහුවිධ සෞඛ්‍ය කණ්ඩායම් සමඟ කටයුතු කිරීම පිළිබඳ පුළුල් දැනුමක් ලබා දෙනු ඇත.
ඊට අමතරව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය මගින් සති දෙකක විශේෂ කළමනාකරණ පුහුණුවක්ද ලබා දීමට සැලසුම් කර ඇත.
මෙම පුහුණුව සාර්ථකව අවසන් කරන උපාධිධාරීන් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ස්ථිර සේවයට අනුයුක්ත කිරීමට නියමිතය. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















