මැදපෙරදිග කලාපයේ පවතින යුධමය නොසන්සුන්තාව හේතුවෙන් පසුබෑමකට ලක්ව තිබූ ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ, කෘතිම බුද්ධි (AI) ක්ෂේත්‍රය කෙරෙහි පවතින ඉහළ විශ්වාසය හේතුවෙන් අද (21) යළිත් වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව Dow Jones දර්ශකය 0.2%කින්ද, S&P 500 දර්ශකය 0.22%කින්ද සහ Nasdaq දර්ශකය 0.33%කින්ද ඉහළ ගොස් තිබේ. AI සහ තාක්ෂණික අංශයේ ආදායම් වර්ධනය සැලකිල්ලට ගනිමින් J.P. Morgan ආයතනය විසින් S&P 500 දර්ශකය සඳහා වන සිය වාර්ෂික ඉලක්කගත අගය ද ඉහළ නංවා ඇත.
විශේෂයෙන්ම Amazon සමාගම විසින් Anthropic AI සමාගම වෙනුවෙන් ඩොලර් බිලියන 25ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට තීරණය කිරීමත් සමඟ එම සමාගමේ කොටස් අගය 2.7%කින් ඉහළ ගියේය. ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගම් තවදුරටත් AI තාක්ෂණය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට සූදානම් බව මෙයින් තහවුරු වන අතර, මැදපෙරදිග අර්බුදය නිසා ආයෝජකයින් තුළ පැවති බිය මඟහරවා ගැනීමට මෙම තත්ත්වය මහෝපකාරී වී තිබේ.














