හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැති World Athletics Ultimate Championship තරගාවලියේදී මීටර් 91.09ක දක්ෂතාවයක් දක්වමින් රත්රන් පදක්කම දිනාගැනීමෙන් අනතුරුව, ටර්කිෂ් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් TK-730 ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ සතු විශේෂිත තරගකාරී හෙල්ල පහම ගුවන් ගමන අතරතුරදී දැඩි ලෙස නමී විනාශ වී ඇති බව අනාවරණය වී තිබේ.
විනාශයට පත් වූ මෙම විශේෂිත හෙල්ල පහේම සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බව තක්සේරු කර ඇති අතර, මෙලෙස හානියට පත්ව ඇත්තේ රුමේෂ් තරංග විසින් මීටර් 92.62ක ජාතික වාර්තාව තැබීමට සහ ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණය සඳහා භාවිතා කළ ප්‍රධාන උපකරණයන්ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ටර්කිෂ් එයාර්ලයින්ස් ගුවන් සමාගම වෙත නිල වශයෙන් නීතිමය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව අදාළ වන්දි මුදල ගුවන් සමාගමෙන් ලබාගැනීමට කටයුතු කරමින් සිටියි.
එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් උළෙල වෙනුවෙන් ඔහුගේ පුහුණුවීම්වලට බාධාවක් නොවනු පිණිස ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ මලල ක්‍රීඩා සංගමයේ මැදිහත්වීමෙන් අලුත්ම හෙල්ල කට්ටලයක් ලබාදීමටද කටයුතු යොදා ඇත. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුමේෂ් තරංග සඳහන් කර ඇත්තේ, මෙය ගුවන් සමාගමේ අතපසු වීමකින් සිදුවූවක් විය හැකි බවත්, තමන් සිද්ධිය ගැන කනගාටු නොවී ඉදිරි ජාත්‍යන්තර තරග ඉලක්ක කරගනිමින් සාර්ථකව පෙරට යන බවත්ය.














