ලෝකයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි හතරකට එකවර සහභාගි වී රන් සම්මාන (පදක්කම්) තුනක් සහ එක් රිදී සම්මානයක් දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය හෙල්ල විසි කිරීමේ අභිමානවත් ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයාව පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද (ජූනි 22) හොරණ නගරයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා. හල්තොට ප්‍රදේශයේ පදිංචි, මෙරට ප්‍රවීණ ක්‍රීඩකයෙකු වන තුෂාර ප්‍රේමකීර්ති මහතාගේ ආදරණීය පුත්‍රයා වන රුමේෂ් තරංග, මෙරට ක්‍රීඩා ඉතිහාසයට නව බලාපොරොත්තුවක් එක්කළ දක්ෂයෙකි.
මව්බිමට අතිදැවැන්ත ජයග්‍රහණ රැසක් දායාද කරමින් පැමිණි මෙම තරුණ ක්‍රීඩකයාව බණ්ඩාරගම, ගැලණිගම අධිවේගී පිවිසුමේ සිටම දර්ශනීය රිය පෙරහැරකින් පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගය ඔස්සේ හොරණ නගරය වෙත මහජන ගෞරව මධ්‍යයේ කැඳවාගෙන ඒමට ප්‍රදේශවාසීන් සහ සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණා. හොරණ නගර මධ්‍යයේ පැවැති මෙම සුවිශේෂී පිළිගැනීමේ උත්සව අවස්ථාව සනිටුහන් කිරීම සඳහා හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි, එහි ලේකම් අචිනි ගයන්ති, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා, උප පොලිස් පරීක්ෂක විමල් ආනන්ද මෙන්ම හොරණ එක්සත් ක්‍රීඩා සමාජයේ සභාපති වයි. ලලිත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද, ක්‍රීඩකයාගේ දෙමාපියන් සහ ප්‍රදේශයේ විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් ද එක්ව සිටියා.
















