ඇමරිකාව විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිරතා හේතුවෙන් චීනය මුහුණ දී සිටින බලශක්ති හිඟය පියවා ගැනීමට සහය වීමට රුසියාව සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කර තිබේ. බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් හමු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, රුසියාව සමඟ සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ලෙස කටයුතු කිරීමට කැමති ඕනෑම රටකට පවතින සම්පත් හිඟය පියවා ගැනීමට රුසියාවට සහය විය හැකි බවයි.
චීනය ඉරාන බොරතෙල් මිලදී ගන්නා ප්‍රධානතම රට වන අතර, වත්මන් තත්ත්වය හමුවේ චීනයට ඉරානයෙන් තෙල් ලබා ගැනීමට නොහැකි වන බවට ඇමරිකාව ප්‍රතිඥා දී ඇත. මෙවැනි පසුබිමක ලැව්රොව් අවධාරණය කළේ රුසියාව සහ චීනය අතර පවතින සබඳතාවය ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී පවතින බවයි. විශේෂයෙන්ම ව්ලැදිමීර් පුටින් සහ ෂී ජින්පින් අතර පවතින සමීප සබඳතාවය ලෝකය වෙළාගෙන ඇති ආර්ථික සහ දේශපාලනික කම්පනයන් හමුවේ තම රටවල් දෙකට ස්ථාවරව සිටීමට ශක්තියක් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














