පැය 72ක තෙදින සටන් විරාමය අවසන් වීමෙන් පැය කිහිපයකට පසු, රුසියාව විසින් යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශ ඉලක්ක කරගනිමින් යළිත් දැවැන්ත ඩ්‍රෝන සහ කාලතුවක්කු ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. රුසියාව යළිත් පූර්ණ පරිමාණ යුද්ධයකට අවතීර්ණ වන්නේ නම් ඊට දැඩිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් (Dnipropetrovsk) කලාපයේ දිස්ත්‍රික්ක පහක් ඉලක්ක කරගනිමින් රුසියානු හමුදාව 20 වතාවකට වඩා ඩ්‍රෝන, කාලතුවක්කු සහ ගුවන් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව එම කලාපයේ යුද පරිපාලන ප්‍රධානී ඔලෙක්සැන්ඩර් ගන්ජා (Oleksandr Ganzha) තහවුරු කරයි. මෙම ප්‍රහාරවලින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
එසේම, රුසියානු හමුදා යුක්රේන අගනුවර වන කියෙව් (Kyiv) ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර දියත් කර ඇති අතර, එහි මහල් 20කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. සටන් විරාමය බිඳ වැටීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් යළිත් උත්සන්න වී ඇති අතර යුක්රේන වැසියන් දැඩි අවදානමකට මුහුණ දී සිටිති.
















