රුසියාව සිය ප්‍රහාරක උපක්‍රම වෙනස් කරමින් දිවා කාලයේදී වැඩි වශයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බවත්, ඒ අනුව අද (13) දිනය පුරා එවැනි ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවයි. රුසියාව හිතාමතාම සිවිල් ස්ථාන සහ දුම්රිය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මෙහෙයවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වසර හතරකට පෙර යුද්ධය ආරම්භ වූ දා සිට රුසියාව ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ප්‍රහාර එල්ල කළද, මෑත සති කිහිපයක සිට දිවා කාලයේදී සිය ගණනින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී ඇත. දිවා කාලයේ එල්ල වන මෙවැනි ප්‍රහාර සිවිල් ජනජීවිතයට වැඩි බලපෑමක් සහ බාධාවක් එල්ල කරයි.
ඊයේ (12) පස්වරු 6 සිට අද වන විට රුසියාව ඩ්‍රෝන යානා 139ක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් 111ක් බිම හෙළීමට හෝ අක්‍රීය කිරීමට යුක්රේන ගුවන් හමුදාව සමත් වී තිබේ. එම අවස්ථාවේදී යුක්රේන ගුවන් සීමාව තුළ ඩ්‍රෝන යානා සියයකට වඩා තිබූ බව වාර්තා විය.
සිවිල් වැසියන් ඉලක්ක කරන බව මොස්කව් පාලනය ප්‍රතික්ෂේප කළද, යුද්ධය හේතුවෙන් දහස් ගණනක් සිවිල් වැසියන් මියගොස් ඇත. යුක්රේනයේ යුධ ශක්තිය දුර්වල කිරීම සඳහා සිවිල් යටිතල පහසුකම්වලට පහර දීම සාධාරණ බව රුසියාවේ මතය වී තිබේ. මේ අතර යුක්රේනය ද රුසියාවේ බලශක්ති ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් දුරදිග විහිදෙන ප්‍රහාර එල්ල කිරීම මෑතකදී තීව්‍ර කර ඇත.














