සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ. මෙම පත්වීමට අදාළ නිල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජයසේකර මහතා වෙත භාර දෙන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ජයසේකර මහතා සතුව රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් පවතී. මෙම පත්කිරීම සිදුකරන අවස්ථාවේදී ඔහු ඌව පළාත් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.
එමෙන්ම ඔහු ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ඌව පළාත් සභාවේ ලේකම්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ වැඩබලන කොමසාරිස් ජනරාල්, ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මෙන්ම මොනරාගල, තණමල්විල සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසද සේවය කරමින් සිය පරිපාලන කුසලතා විදහා දක්වා ඇත.
















