27 April 2024
#දේශීය

සති අන්ත හා නිවාඩු දිනවල වසා දැමුණු සදතැන්න ඇමති ප්‍රසන්නගේ උපදෙසින් යළි විවෘත වේ

සති අන්ත හා රජයේ නිවාඩු දිනවල වසා දැමුණු නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කර එය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.

නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය සතිඅන්ත හා රජයේ නිවාඩු දිනවල නැවත වීවෘත කිරීම හා එය සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස තවදුරටත් දියුණු කිරීම සම්බන්ධයෙන්  (17) වනදා පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹීණි. සාකච්ඡාව පැවැත්වුණේ සංචාරක අමාත්‍යාංශයේදීයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි බළධාරින්ට කියා සිටියේ කොවිඩ් වසංගතයෙන් පසු සංචාරකයන් යළි රටට පැමිණෙමින් පවතින මේ අවස්ථාවේ දි සංචාරක කළාප වසා දැමීමට කිසිසේත් එකග විය නොහැකි බවයි. රජය තව තවත් ආකර්ෂණීය සංචාරක ගමනාන්ත හදුනාගනිමින් ඒවා දියුණු කිරිමට සැලසුම් කරද්දි පවතින සංචාරක කළාප වෙනත් ගැටළු මත වසා දැමීමට ඉඩ දිය නොහැකි බව ද ඔහු කීවේය. මෙම සදතැන්න පාරිසරක සංචාරක කළාපය දියුණු කිරිම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය රුපියල් බිලියන 17.2 ක ආයෝජනයක් සිදු කර ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා එය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසිම සියලු පාර්ශවයන්ගේ වගකිම බව ද පෙන්වා දුන්නේය. කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මෙහි දී ඇමතිවරයාට කියා සිටියේ මේ සේවකයන්ට අතිරේක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

සදතැන්න සංචාරක කළාපයේ ජීප් රථ රියදුරන්ගේ සංගමය ඉදිරිපත් කල ගැටළු කීපයකට ද කඩිනමින් විසදුම් ලබාදීමට ඇමතිවරයා කටයුතු කළේය. මෙම කළාපයට පිවිසෙන කිලෝමිටර් 04 ක මාර්ගය කඩිනමින් කාපට් කර ප්‍රතිසංස්කරණය කර දීම, එම කළාපය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා කඩිනම් පියවර ගැනීමට ද මෙහි දී තීරණය කෙරිණි. එම ස්ථානය දියුණු කිරීමේ දි එම ස්ථානයේ පාරිසරික තත්ත්වයට ගැළපෙන පරිදි කටයුතු කරන ලෙස ද ඇමතිවරයා මෙහිදි බළධාරින්ට උපදෙස් දුන්නේය. සංචාරක කළාපය උදෑසන 06 ට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දී බළධාරින්ට උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය අජන්ත ද සිල්වා, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සදතැන්න සංචාරක කළාපයේ සෆාරි රියදුරු සංගමයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *