මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම රජයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අසාර්ථකභාවය පෙන්වන කැඩපතක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් පැවැති සභා කල්තැබීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ බන්ධනාගාරයක් තුළ ආරක්ෂාව සැපයීමට නොහැකි ආණ්ඩුවකට රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව භාර දිය නොහැකි බවයි.
නීතිමය තත්ත්වය කුමක් වුවත් බන්ධනාගාරගත කර සිටින සියලුම රැඳවියන් සිටින්නේ රජයේ භාරයේ බැවින් එහිදී සිදුවූ මරණ සහ තුවාලවීම් සම්බන්ධයෙන් රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අතීතයේ විපක්ෂයේ සිටියදී මෙම තර්කයම ඉදිරිපත් කළ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා, 10,000ක පිරිසක් රඳවා තැබිය හැකි බන්ධනාගාර පද්ධතිය තුළ 40,000කට ආසන්න පිරිසක් රඳවා සිටියදී ඒ පිළිබඳ කිසිදු අවදානම් තක්සේරුවක් සිදුකර නොමැති බවට චෝදනා කළේය. වැලිකඩ සහ මහර බන්ධනාගාර සිදුවීම්වලින් රජය පාඩම් ඉගෙන ගෙන නොමැති බවත්, ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකුවත් පත් කිරීමට අපොහොසත් වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා බන්ධනාගාර ගැටලු විසඳනවා වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවලට මුල්තැන දී ක්‍රියා කරන බවටද විවේචනය කළේය.
















