අමෙරිකාවේ අලුත උපන් දරුවන් වෙනුවෙන් රජය හඳුන්වා දුන් “ට්‍රම්ප් ගිණුම්” (Trump Accounts) ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් සඳහා පළමු ඩොලර් දහසක ($1,000) මුදල සාර්ථකව තැන්පත් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ කුඩා අවධියේ සිටම කොටස් වෙළෙඳපොළ (Stock Market) ආයෝජන මඟින් ධනය උපයා ගැනීම සඳහා අමෙරිකානු පුරවැසියන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
මෙම නව ආයෝජන ගිණුම් ක්‍රමය 2025 සහ 2028 වසරවල උපදින අමෙරිකානු දරුවන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇත. නිව්යෝර්ක් (NYSE) සහ නැස්ඩැක් (NASDAQ) කොටස් වෙළෙඳපොළ ප්‍රධානීන් සමඟ එක්ව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මෙහි සමාරම්භක සීනුව නාද කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. අමෙරිකාවේ ඉදිරි අතුරු මැතිවරණය සඳහා ජීවන වියදම් අර්බුදය ප්‍රධාන මාතෘකාවක් වී ඇති පසුබිමක මෙම වැඩසටහන ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි. කෙසේ වුවද, අඩු ආදායම්ලාභී පවුල්වලට මෙයට අමතර මුදලක් දායක කිරීමට නොහැකි වීම නිසා මෙහි පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමට ඔවුන්ට අපහසු වනු ඇති බවට විවේචකයින් මත පළ කර ඇත.















