ශ්‍රී ලංකාවේ තෙවැනි ජනාධිපතිවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් විශේෂ ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහනක් මහනුවර, කෙංගල්ල ශ්‍රී සීවලී මහා සෑ විහාරස්ථානයේදී පැවැත්විණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී එම විහාරස්ථානයේ අඩි 18ක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට මුල්ගල් තැබීම, විහාරස්ථානය වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සහ දරුවන් වෙත පොත්පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
උත්සව සභාව අමතමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, තම පියාණන් “කී දේ කළ, කළ දේ කී” අභීත නායකයෙකු බවයි. එතුමා ක්‍රියාත්මක කළ “ගම් උදාව” නිවාස ව්‍යාපෘතිය මගින් රටේ නිවාස අර්බුදයට ස්ථිර විසඳුම් ලැබුණු බවත්, එය හුදෙක් ගොඩනැගිලි ඉදි කිරීමක් පමණක් නොව, ගෙවතු වගාව, සෞඛ්‍ය සහ ආර්ථික පුනර්ජීවනය වැනි අංග ඇතුළත් සමගාමී වැඩපිළිවෙළක් වූ බවත් සිහිපත් කළේය.
එමෙන්ම, වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති විවේචනය කළ සජිත් ප්‍රේමදාස මහතා, ඩිජිටල් යුගයට අනුකූලව අධ්‍යාපනය හැඩගස්වා ගැනීමට රජය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන්නේය. රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී, හුදෙක් පරිභෝජනය මත පදනම් වූ සහන ලබා දෙනවා වෙනුවට, තම පියාණන් හඳුන්වා දුන් “ජනසවිය” වැඩපිළිවෙළ මෙන් ආයෝජනය, නිෂ්පාදනය සහ අපනයනය දිරිමත් කරන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
















