අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කර තිබේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසන සඳහා ඒවා සවි කර ගැනීමට ලබා දී තිබූ සහන කාලය අවසන් කිරීම සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් මේ වන විට අනුමත කොට ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම තීරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සහ බරපතළ තුවාල ලැබීම් අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මීට අමතරව, මගී ප්‍රවාහන සේවා, පාසල් සහ කාර්යාලීය ප්‍රවාහන සේවා මෙන්ම කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකා වාහනවල තාක්ෂණික තත්ත්වය පරීක්ෂා කර මාර්ගයේ ධාවන යෝග්‍යතාව තහවුරු කිරීම සඳහා වන ගැසට් නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.
වාහනවල පවතින කාර්මික දෝෂ, නඩත්තු ගැටලු සහ රියදුරන්ගේ වැරදි හේතුවෙන් සිදුවන බරපතළ අනතුරු පාලනය කිරීම සඳහා මෙම නව නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන අතර, මේ පිළිබඳව මහජනතාව සහ වාහන හිමියන් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














