යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇතත්, උතුරු සහ නැඟෙනහිර පළාත්වල අත්පත් කරගෙන ඇති සිවිල් වැසියන්ගේ පෞද්ගලික ඉඩම් වහාම නිදහස් කර, එම ප්‍රදේශවල පිහිටි හමුදා කඳවුරු ඉවත් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා රජයෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විට හමුදා කඳවුරු දෙකක් ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනමන බව පැවසූ මන්ත්‍රීවරයා, මැතිවරණ සමයේදී පොරොන්දු වූ පරිදි සිවිල් ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය තවමත් කඩිනමින් සිදු නොවන බව පෙන්වා දුන්නේය. උතුරු හා නැඟෙනහිර පළාත්වල ප්රතිසන්ධානය, ජනතාව නැවත පදිංචි කිරීම සහ ආර්ථික ප්‍රකෘතිය ඇති කිරීම සඳහා එම කලාප ක්‍රමයෙන් හමුදාකරණයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ද රාසමානික්කම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















