අධිකරණය වෙත ඉදිරිපත් කළ බන්ධනාගාර රැඳවියෙකුට පලා යෑමට සැලසුම් සකස් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ජුනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (3) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් කර ඇත්තේ රැඳවියාගේ බිරිඳ වන තක්ෂිලා තුෂාණි සහ මෝටර් රථයේ රියදුරු වන මොහොමඩ් රිෆාන් මොහොමඩ් රියාද් යන අයයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි දිල්ශාන් නිමේෂ් නමැත්තා ඉකුත් 15 වන දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදී මෙම පලා යෑමේ සිද්ධිය සිදුව ඇත. තක්ෂිලා තුෂාණිගේ සැලසුමකට අනුව, අධිකරණය ඉදිරිපිටදී රැඳවියාව මෝටර් රථයක දමාගෙන රැගෙන යාමට කටයුතු කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් විසින් පලාගිය සැකකරු, ඔහුගේ බිරිඳ සහ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.
කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සිය බිරිඳ විසින් මෙම පලා යෑමේ සැලසුම සකස් කළ බව ඔහු ප්‍රකාශ කර ඇති බවයි. කොළඹ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණය විසින් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබියදී, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව භෞතිකව අධිකරණය වෙත රැගෙන ඒම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කෙසෙල්වත්ත පොලිසියට නියෝග කළේය.
















