ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කරන ලද හිටපු ‘DECISIVE’ වෙරළාරක්ෂක නෞකාව මාස තුනකට ආසන්න කාලයක් පුරා විහිදුණු දීර්ඝ මුහුදු ගමනක් අවසානයේ අද දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. 2025 දෙසැම්බර් මස බැල්ටිමෝර්හිදී නිල වශයෙන් මෙරටට භාරදුන් මෙම නෞකාව සිය ගමන ආරම්භ කළේ 2026 පෙබරවාරි 20 වන දායි. නාවික සැතපුම් 14,775ක දැවැන්ත දුරක් ගෙවා පැමිණි මෙම ගමන ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ නෞකාවක් සිදු කළ දීර්ඝතම ඒකල මුහුදු ගමන ලෙස වාර්තා අතරට එක්වන අතරම ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් පැනමා ඇළ හරහා ගමන් කළ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වෙයි.
කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් මෙම නෞකාව තුළ නිලධාරීන් 14ක් සහ නාවිකයන් 72ක් ඇතුළුව 86 දෙනෙකුගෙන් යුත් විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර ඔවුන් සිය දීර්ඝ ගමන අතරතුර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කරගනිමින් වැදගත් වරායන් කිහිපයකට ද සේන්දු වී තිබේ. අඩි 210ක දිගින් යුත් මෙම නෞකාව ඉන්දීය සාගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩලීමටත්, සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමට සහාය වන නාවික මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමටත් ඉදිරියේදී යොදවා ගැනීමට නියමිතය. නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ ලබන සතියේදී මෙම නෞකාව කොළඹ වරායට රැගෙන ඒමෙන් පසු එහි නිල කොමිස් කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිත බවයි.














