ජපානය සහ රුමේනියාව යන රටවල රැකියා සඳහා ප්‍රථම වරට විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා පිළිවෙළින් දින 02ක සහ දින 03ක අනිවාර්ය පූර්ව විගමනික නම්නීකරණ (Pre-departure Orientation) වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී සැප්තැම්බර් 01 වනදා සිට පුහුණු කටයුතු ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී සේවා අවශ්‍යතාව සහ පිරිස මත පදනම්ව දිවයින පුරා පිහිටි අනෙකුත් පුහුණු මධ්‍යස්ථානවලට ද මෙය ව්‍යාප්ත කිරීමට නියමිතය. සැප්තැම්බර් 15 වනදා සිට මෙම රටවල් දෙක සඳහා පළමුවරට පිටත්ව යන ශ්‍රමිකයන් මෙම නම්නීකරණ පුහුණුව ලබා තිබීම අනිවාර්ය වන අතර, එම පුහුණුව නොමැතිව කාර්යාංශයේ විදේශගතවීමේ ලියාපදිංචිය ලබාගත නොහැකි බව කාර්යාංශය අවධාරණය කරයි. මෙම වැඩසටහන මගින් අදාළ රටවල සංස්කෘතිය, රැකියා ස්ථානයේ ආරක්ෂාව, මුදල් පරිහරණය, සෞඛ්‍ය සහ විදේශීය ශ්‍රම නීති පිළිබඳ පූර්ණ දැනුවත්භාවයක් ලබා දෙන අතර, ලියාපදිංචිය දිවයින පුරා පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය ශාඛා මගින් සිදු කර ගත හැක.













