ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් පියාසර උරුමයේ හෘදස්පන්දනය බඳු, “ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය” ලෙස විරුදාවලිය ලත් අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය සිය 75 වන සංවත්සරය අද (01) දින චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේදී අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. 1951 සැප්තැම්බර් 01 වන දින කටුනායකදී ආරම්භ වූ මෙම පක්ෂාංගය, පසුකාලීනව චීන වරාය පරිශ්‍රය වෙත ස්ථාපිත කෙරුණු අතර, අද වන විට PT-6 සහ සෙස්නා-150 වැනි යානා බලඝණයකින් සන්නද්ධව මූලික සහ මධ්‍යම මට්ටමේ පියාසර පුහුණුවීම් ලබා දෙන ප්‍රමුඛතම ආයතනය ලෙස ක්‍රියාත්මක වේ.
අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඉර්ෂාඩ් මුතාලිෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන සංවත්සර උත්සවය පැවැත්වුණු අතර, ඊට සේවා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ට ද ආරාධනා කර තිබුණි. දශක හතකට වැඩි කාලයක් මුළුල්ලේ මව්බිම වෙනුවෙන් දක්ෂ, විනයගරුක ගුවන් නියමුවන් පරම්පරාවක් දායාද කළ මෙම පක්ෂාංගය, ලක් ගුවන් ගැබ සුරක්ෂිත කිරීමේ මෙහෙවරට සැමදා කැපවී සිටී.














